ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය (Droupadi Murmu) බටහිර බෙංගාලයේ පැවති ගෝත්‍රික සම්මන්ත්‍රණයකට සහභාගී වූ අවස්ථාවේදී සිදු වූ බරපතළ ප්‍රොටෝකෝල (Protocol) උල්ලංඝනයන් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මධ්‍යම රජය බටහිර බෙංගාල පරිපාලනයට නියෝග කර තිබේ. ඒ අනුව අද (08) පස්වරු 5:00 ට පෙර මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ඉන්දීය ස්වදේශ ලේකම් ගෝවින්ද් මෝහන් (Govind Mohan) විසින් එරට ප්‍රධාන ලේකම්වරයා වෙත දන්වා ඇත.
මෙම මතභේදාත්මක තත්ත්වය පිළිබඳ තොරතුරු මෙසේය. ජනාධිපතිනිය පිළිගැනීම සඳහා නියමිත ප්‍රොටෝකෝලය අනුගමනය කිරීමට අපොහොසත් වීම, ඇය පිළිගැනීමට ප්‍රාන්ත අමාත්‍යවරුන් නොපැමිණීම සහ ජනාධිපතිනිය ගමන් කිරීමට නියමිතව තිබූ මාර්ග අවසන් මොහොතේ වෙනස් කිරීම පිළිබඳව මධ්‍යම රජය සිය අප්‍රසාදය පළ කර තිබේ. මීට අමතරව ඩාර්ජිලින් දිස්ත්‍රික්කයේ පැවති අන්තර්ජාතික සන්තාල් සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානය අවසන් මොහොතේ වෙනස් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිනිය ප්‍රසිද්ධියේ සිය කලකිරීම ප්‍රකාශ කර ඇත.
මුලින් බිධන්නගර් ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම සම්මන්ත්‍රණය ප්‍රාන්ත රජය විසින් සිලිගුරි නගරය ආසන්නයේ පිහිටි ගොසේන්පූර් (Gossainpur) වෙත ගෙන ගොස් තිබේ. මෙම සිදුවීමත් සමඟ මධ්‍යම රජය සහ මමතා බැනර්ජිගේ ප්‍රාන්ත රජය අතර පවතින දේශපාලන නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.














