බටහිර බෙංගාලයේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මසකට ඉන්දියානු රුපියල් 1,500 ක (රුපියල් 5,500ක් පමණ) දීමනාවක් ලබා දීමට බටහිර බෙංගාල මහඇමතිනිය මමතා බැනර්ජි තීරණය කර තිබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් සහ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ඇය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සහන දීමනාව පිළිබඳ විශේෂ තොරතුරු මෙසේය. 10 වන ශ්‍රේණිය (Secondary Examination) සමත්, වයස අවුරුදු 21 ත් 40 ත් අතර පසුවන තරුණ තරුණියන්ට මෙම දීමනාව සඳහා සුදුසුකම් ලැබිය හැකිය. මුලින් අප්‍රේල් මාසයේ සිට මෙය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලබා දෙන තෑග්ගක් ලෙස එය ඊයේ (07) සිටම ක්‍රියාත්මක කිරීමට මහඇමතිනිය පියවර ගෙන ඇත.
තම පාලන කාලය තුළ බෙංගාලයේ රැකියා වියුක්තිය සියයට 40 කින් අඩු කිරීමට හැකි වූ බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ බෙංගාලය ඉන්දියාවේ ප්‍රමුඛස්ථානයට පැමිණ ඇති බවත් ඇය මෙහිදී අවධාරණය කළාය. එසේම ඉඩම් නොමැති ගොවීන් වෙනුවෙන් රුපියල් 4,000 ක විශේෂ දීමනාවක් ලබා දීමට ද බෙංගාල රජය තීරණය කර තිබේ.














