ව්‍යාජ ලේඛන භාවිතා කරමින් සිදුකරන මහා පරිමාණ වාහන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගහවත්ත සහ කඳාන ප්‍රදේශවලදී සිදුකළ මෙම වැටලීමේදී වලංගු ලියාපදිංචි බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටි මෝටර් රථ 3ක්, ජීප් රථ 2ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 21, 39 සහ 44 යන වයස්වල පසුවන කඳාන සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මොවුන් කාලයක සිට ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේඛන සකස් කරමින් මෙම වාහන ජාවාරම මෙහෙයවා ඇති බවයි. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මඟින් මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සහ මෙම වාහන මෙරටට ගෙන්වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි. වාහන මිලදී ගැනීමේදී ලේඛනවල නිවැරදිභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














