බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද යන පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල හෙට (31) මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (30) පස්වරුවේ නිකුත් කළ නිවේදනයකට අනුව මෙම තත්ත්වය පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
පවතින අධික උණුසුම හමුවේ සෞඛ්‍යාරක්ෂිතව සිටීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහත උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
වැඩබිම්වල සේවය කරන පුද්ගලයින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල විවේක ගත යුතුය. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කුඩා ළමුන් කිසිදු විටෙක වාහන තුළ තනියම රඳවා නොතැබීමට වගබලා ගත යුතුය. සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතය සහ අධික වෙහෙසකර කටයුතු සීමා කිරීම යෝග්‍ය වේ.













