ධීවරයන්ට ගැඹුරු මුහුදේ මත්ස්‍යයන් ගැවසෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා ජංගම දුරකතන මෘදුකාංගයක් (App) හඳුන්වා දී ඇති බවට රජය පවසන ප්‍රකාශ අසත්‍ය බව හිටපු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා චෝදනා කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ධීවරයන් ලක්ෂයක් මෙම මෘදුකාංගය භාවිත කරන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන කරුණු පදනම් විරහිත බවයි.
තම පාලන කාලය තුළ මෙවැනි මෘදුකාංගයක් හඳුන්වා දීමට පියවර ගත්තද එය තවමත් ක්‍රියාත්මක මට්ටමක නැති බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, එවැනි පහසුකමක් ඇත්නම් ධීවරයන් තවමත් සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තයේ රැඳී නොසිටින බවද අවධාරණය කළේය. මීට අමතරව, ඉන්දීය ධීවරයන් විසින් ජාත්‍යන්තරව තහනම් කරන ලද ක්‍රමවේද භාවිත කරමින් මෙරට මුහුදු පතුල විනාශ කිරීම වැළැක්වීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවට ද ඔහු මෙහිදී විවේචනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ අතීතයේ ඇති කරගත් එකඟතාවන් ඉදිරියට ගෙන යාමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් යළිත් ඉන්දීය බෝට්ටු මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කර ඇති බව අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














