ඉරානය තුළ ක්‍රියාත්මක අමෙරිකා-ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අතරතුර එරට සෞඛ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර 13ක් පිළිබඳ තොරතුරු තහවුරු කරගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් (Tedros Adhanom Ghebreyesus) අද (05) ප්‍රකාශ කළේය. මෙම ප්‍රහාරවලින් වෛද්‍ය නිලධාරීන් සිවුදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවට ලැබී ඇති වාර්තා පිළිබඳව ද මේ වන විට විමර්ශනය කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉරානයට අමතරව ලෙබනනයේ ද එක් සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි.
ඉරාන බලධාරීන් උපුටා දක්වමින් වෛද්‍ය හනන් බල්කි (Dr. Hanan Balkhy) පෙන්වා දුන්නේ ගිලන් රථ හතරකට ද මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇති බවයි. අගනුවර පිහිටි එක් රෝහලක් ආරක්ෂක හේතූන් මත ඉවත් කිරීමට පවා සිදුව තිබේ. කලාපයේ පවතින ප්‍රවාහන සීමා හේතුවෙන් ඩුබායි හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැපයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ද තාවකාලිකව ඇණහිට ඇති අතර, එමඟින් රටවල් රැසකට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම ප්‍රමාද වී ඇත. ජිනීවා හි ඉරාන තානාපතිවරයා මීට පෙර චෝදනා කර තිබුණේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් හමුදා ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.














