ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය (WHO SEARO) මඟින් සංවිධානය කරනු ලබන ලෝක සෞඛ්‍ය දින 2026 සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ආරාධනා ලැබී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය දිනය යෙදී ඇති අප්‍රේල් මස 07 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි WHO SEARO මූලස්ථානයේදී මෙම සැමරුම් උළෙල පැවැත්වීමට නියමිතයි. මෙවර ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන්නේ “සෞඛ්‍ය සඳහා එක්වෙමු. විද්‍යාව සමඟ නැගී සිටිමු” (Together for health. Stand with science) යන තේමාව යටතේයි. මානව සෞඛ්‍යය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයාගැනීම් සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීම මෙවර සැමරුමේ මූලික අරමුණ වනවා.
මීට අමතරව මිනිසුන්, සතුන්, ශාක සහ සමස්ත පරිසර පද්ධතියේම සෞඛ්‍යය එකිනෙකට බැඳී පවතින බව පවසන “ඒකීය සෞඛ්‍ය” (One Health) ප්‍රවේශය කෙරෙහි මෙවර ලෝකයේම අවධානය යොමු කර තිබෙනවා. කලාපයේ බිලියන දෙකකට ආසන්න ජනතාවකගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ තාක්ෂණික සහය ලබා දීම මෙමඟින් බලාපොරොත්තු වනවා.














