2016 වසරෙන් පසුව රාජ්‍ය සේවයට බැඳුණු සියලුම නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
2016 වසරෙන් පසු ස්ථිර විශ්‍රාම වැටුප් ක්‍රමයක් නොමැතිව සේවයට එක්වූ නිලධාරීන් මුහුණ දුන් ගැටලුවට විසඳුම් ලෙස, ඔවුන් සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී නව දන්ත කාර්මික ශිල්පීන් ඇතුළු පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. වසර දෙකක පුහුණුව අවසන් කළ දන්ත කාර්මික ශිල්පීන් 13 දෙනෙකු ඇතුළු පිරිසක් මෙහිදී සේවයට එක් විය. රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීමේදී අත්‍යවශ්‍ය බඳවාගැනීම් නිසි නිර්ණායකයන්ට අනුව අඛණ්ඩව සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














