ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ ජල සම්පත මුහුණ දෙන දැවැන්ත අභියෝග හමුවේ රටේ පැවැත්ම තීරණය කරන ඉහළ ජලධාරා පද්ධතිය සුරැකීම සඳහා නීතිමය බලතල සහිත ස්වාධීන අධිකාරියක අවශ්‍යතාව වර්තමානයේ දැඩිව මතු වී තිබේ. රටේ මීටර් 500කට වඩා ඉහළින් පිහිටි වර්ග කිලෝමීටර් 8,900ක භූමි ප්‍රමාණය මිලියන 15කට අධික ජනතාවකට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන අතර එය වගා භූමියෙන් වැඩි ප්‍රමාණයකට වාරි ජලය මෙන්ම සැලකිය යුතු ජලවිදුලි ධාරිතාවක් ද ලබා දෙයි.
දැනට ජලධාරා කළමනාකරණය ආයතන 25කට අධික ප්‍රමාණයක් අතර බෙදී පවතින බැවින් ඒකාබද්ධ දේශගුණික ප්‍රතිචාරයක් සැලසුම් කිරීම අසීරු වී ඇත. යෝජිත ඉහළ ජලධාරා කළමනාකරණ අධිකාරිය (UWMA) මගින් ජලය, කෘෂිකර්මය සහ බලශක්තිය යන අංශ එකම පාලන රාමුවකට ගෙන ඒමට අපේක්ෂා කෙරේ. මෙම ආයතනයට අනවසර ඉදිකිරීම් සහ පාරිසරික වශයෙන් හානිකර වගාවන් පාලනය කිරීමට අවශ්‍ය නියාමන බලතල හිමිවන අතර එමගින් පස සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් කෘෂිකර්මය තිරසර කිරීමට මූලික පදනම සැකසෙනු ඇත.
සාම්ප්‍රදායික වගා ක්‍රමවල පවතින දුර්වලතා හේතුවෙන් ගොවීන් මුහුණ දෙන අධික නිෂ්පාදන පිරිවැය සහ ආදායම් අස්ථාවරත්වය ද තීරණාත්මක ගැටලුවකි. කුඩා භූමි ප්‍රමාණවල වගා කිරීම නිසා ගොවියාට පරිමාණයේ ආර්ථික වාසිය අහිමි වන අතර වෙළඳපොළ මිල සහ ඉල්ලුම පිළිබඳ නිසි තොරතුරු ගොවියාට නොලැබීම තවත් බාධාවකි. විශේෂයෙන්ම දේශීය අස්වනු නෙළන සමයට අවම වශයෙන් මාස තුනකට පෙර ආනයනික බදු පැනවීම වැනි නිසි තීරණ නිසි අවස්ථාවට ගැනීම ගොවියාගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය වේ.
වැවිලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද විද්‍යාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව මතුවී ඇත. විශේෂයෙන්ම තේ නිෂ්පාදන පිරිවැයෙන් 60%-65%ක් පමණ වැටුප් සඳහා වැය වන බැවින් වතු සේවක වැටුප ඵලදායිතාව හා සමපාත වන වැටුප් ව්‍යුහයක් හරහා තීරණය කිරීම වඩාත් යෝග්‍ය වේ. එමගින් සේවකයාට වැඩි ආදායමක් ලැබෙන අතරම ගෝලීය වෙළඳපොළේදී ශ්‍රී ලංකාවේ තේ සඳහා පවතින තරඟකාරීත්වය රැක ගැනීමට ද හැකියාව ලැබේ.
මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට “ජලමූලාශ්‍ර සංරක්ෂණ අරමුදල” නමින් නව මූල්‍ය ආකෘතියක් යෝජනා වී ඇත. ජලවිදුලි සමාගම් සහ ජල සම්පාදන ආයතනවලින් ලබාගන්නා දායකත්වයෙන් මෙම අරමුදල ගොඩනැඟෙන අතර එය රජයට අමතර පිරිවැයක් නොවන පරිසර හිතකාමී ආයෝජන උපායමාර්ගයක් වනු ඇත. අවසාන වශයෙන් ජලය සහ පස ආරක්ෂා කරගැනීමෙන් තොරව රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ නොහැකි බැවින් මෙවැනි අධිකාරියක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවකි.














