හොරණ, බොරළුගොඩ ප්‍රදේශයේදී බීමතින් සිටි සැමියා කණුවක ගැටගසා ඉදලකින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ පුවතක් අද (24) අලුයම වාර්තා විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් කාන්තාවක හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අත්තනායක මුදියන්සේලාගේ ගාමිණී පද්මකුමාර නැමැති 32 හැවිරිදි බේකරි සේවකයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය පුද්ගලයා අද අලුයම 1.00ට පමණ අධික ලෙස බීමත්ව අසල්වැසි නිවසකට ගොස් එහි දොරට තට්ටු කර ඇත. එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාව බියට පත්ව මියගිය පුද්ගලයාගේ බිරිඳට ඒ බව දන්වා තිබේ. වහාම එම ස්ථානයට පැමිණි බිරිඳ, බීමතින් සිටි තම සැමියාගේ දෑත් රෙදි පටියකින් ඉස්තෝප්පු කණුවේ ගැටගසා ඉදලක් කැඩෙන තුරුම ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති බව හෙළි විය. පහරකෑමෙන් පසු ඔහු නිසොල්මන් වීම නිසා බියට පත් බිරිඳ පසුව රෙදි පටි කපා දමා ඇති අතර, පොලිසිය පැමිණෙන විටත් ඔහු මියගොස් සිට ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පවත්වනු ලබන අතර හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. බීමත්කම සහ පවුල් ආරවුල් දුරදිග යාමෙන් සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම ප්‍රදේශවාසීන් මහත් කම්පනයට පත් කර තිබේ.














