වත්මන් රජය ආගම්වාදය සහ ජාතිවාදය ඔඩුදුවන ආකාරයෙන් කටයුතු කරමින් රට අරාජික කිරීමට උත්සාහ කරන්නේදැයි සාධාරණ සැකයක් මතු වන බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පෙන්වා දුන්නේ ත්‍රිකුණාමලයේ සහ තිස්ස විහාරයේ මතු වී ඇති ගැටලු රජයට ඉතා පහසුවෙන් විසඳිය හැකිව තිබියදී ඒවා දිගින් දිගටම ඇදගෙන යාම තුළින් මෙම සැකය තහවුරු වන බවයි. පසුගිය වසර කිහිපය පුරා මාලිමාවට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් රට පුරා වෛරයේ බීජ වැපිරූ බවත්, දැන් එහි අස්වැන්න නෙළමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
රට තුළ වර්තමානයේ බරපතළ ලෙස නිරාගමිකරණය සිදුවෙමින් පවතින බව පවසන ඒ මහතා, ගස් ගල් සහ පිළිමවලට වඳින ජනතාව ගෝත්‍රිකයන් ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරන බවට චෝදනා කළේය. මැතිවරණයේදී රජයට ඡන්දය ලබාදුන් ලක්ෂ 68ක ජනතාව ද එලෙස ගෝත්‍රිකයන් ලෙස හඳුන්වන්නේ දැයි ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම දේශපාලන පළිගැනීම් සිදුකිරීම සඳහා පොලිසිය සහ නීතිපති ඇතුළු රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වයට රජය බලපෑම් කරමින් සිටින බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
තවද, මීට පෙර ත්‍රස්ත විරෝධී පනතට දැඩි ලෙස විරුද්ධ වූ වත්මන් පාලකයන්, අද වන විට ජනතාවගේ සහ මාධ්‍යයේ නිදහස දැඩි ලෙස අහුරන නව ත්‍රස්ත විරෝධී පනතක් සකස් කර ඇති බව විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙම පනත හරහා රජය මුලින්ම උත්සාහ කරන්නේ ජනමාධ්‍ය පාලනය කිරීමට බවත්, එමගින් ජනතාවගේ ස්වාධීනත්වය මුළුමනින්ම අහිමි වන බවත් ඔහු අවධාරණය කළේය. දිනෙන් දින පිරිහෙන රජයට එරෙහිව නැගී සිටින ජනතාව මර්දනය කර සිය බලය රැකගැනීම සඳහා මෙම නව පනත ගෙන එන බවට ද ඔහු මෙහිදී විවේචනය කළේය.














