දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙරට ජාතික උද්‍යානවල වෙසෙන වන සතුන්ට මෙතෙක් බරපතල බලපෑමක් එල්ල වී නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, උද්‍යාන තුළ පවතින ජල මූලාශ්‍ර සහ ආහාර පවතින මට්ටම පිළිබඳව දෙපාර්තමේන්තුව අඛණ්ඩව සහ දැඩි අවධානයෙන් පසුවන බවයි. වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් වන සතුන්ට අවශ්‍ය ජලය සැපයීම සඳහා කෘත්‍රිම ජල පොකුණු පිරවීම ඇතුළු විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට ද සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, ඉදිරි මාසවලදී අපේක්ෂිත නියඟය පිළිබඳව අවධානය යොමු කරමින් වනජීවී කලාපවල ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.














