මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන WindForce PLC සමාගම රුපියල් බිලියන 4 ක් (රුපියල් කෝටි 400 ක්) දක්වා වූ හරිත බැඳුම්කර (Green Bonds) නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දෙමින් සමාගම පවසා ඇත්තේ ලැයිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත සහ නිදහස් කළ හැකි හරිත බැඳුම්කර මිලියන 40 ක් දක්වා මෙහිදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. මෙමඟින් රැස් කරගන්නා අරමුදල් ඔවුන්ගේ ඉදිරි හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා යෙදවීමට නියමිතව පවතිනවා.
අදාළ හරිත බැඳුම්කරවල කාලසීමාව, පොලී අනුපාතික සහ අනෙකුත් විශේෂාංග පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිත අතර මෙම බැඳුම්කර නිකුතුව සඳහා අවශ්‍ය නියාමන අනුමැතීන් ලබා ගැනීමටද කටයුතු කරමින් පවතින බවයි සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.














