එක්සත් රාජධානියේ පදිංචි 52 හැවිරිදි මන්ජිත් සංගා නමැති කාන්තාවකගේ අතක තිබූ කුඩා තුවාලයක් ඇගේ සුරතල් බල්ලා විසින් ලෙවකෑම හේතුවෙන් හටගත් “සෙප්සිස්” (Sepsis) තත්ත්වය නිසා ඇගේ අත් සහ පාද හතරම කපා ඉවත් කිරීමට සිදුවීමේ පුවතක් පසුගියදා වාර්තා විය. සති 32ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, හෘදයාබාධ කිහිපයකට ද මුහුණ දුන් අතර අවසානයේ ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා මෙම තීරණාත්මක සැත්කම් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය. මෙම පුවතත් සමඟ සුරතල් සතුන් ලෙවකෑම මඟින් ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳව ලෝකය පුරාම දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
වෛද්‍ය මනෝජ් විට්ලානි මහතා පෙන්වා දෙන්නේ “සෙප්සිස්” යනු හුදෙක් ආසාදනයක් පමණක් නොව, ශරීරයට ඇතුළු වන ආසාදනයකට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන අසාමාන්‍ය සහ අතිශය දරුණු ප්‍රතිචාරය බවයි. බල්ලන්ගේ කෙළවල පවතින “කැප්නොසිටෝෆාගා” (Capnocytophaga) වැනි බැක්ටීරියා වර්ග මිනිස් සිරුරේ පවතින කුඩා සීරීමක් හෝ කැපුමක් හරහා රුධිරයට ඇතුළු වූ විට, එම විෂබීජ නාශනය කිරීමට උත්සාහ කරන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධි ක්‍රියාකාරීත්වය නිසා අවයව හානි වීම, රුධිර සංසරණය පිරිහීම සහ පටක මියයාම සිදු වේ. මෙහිදී අත් සහ පාදවලට රුධිරය ගලා යාම සම්පූර්ණයෙන්ම ඇනහිටියහොත් රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා එම අවයව කපා ඉවත් කිරීමට සිදුවන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කරයි.
මෙවැනි අවස්ථා අතිශය දුර්ලභ වුවද, දියවැඩියාව, අක්මා රෝග හෝ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. බිය වීමට වඩා පූර්වාරක්ෂාව වැදගත් බව අවධාරණය කරන වෛද්‍යවරුන්, තුවාලයක් ඇති වූ විට එය සබන් හා පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ආවරණය කරන ලෙසත්, සුරතල් සතුන්ට එම තුවාල ලෙවකෑමට කිසිසේත්ම ඉඩ නොදෙන ලෙසත් උපදෙස් දෙයි. යම් හෙයකින් සතෙකු ලෙවකෑමෙන් පසු අධික උණ, රතු පැහැය, ඉදිමීම, ව්‍යාකූලත්වය හෝ අධික දුර්වලතාවක් දැනේ නම්, එය සෙප්සිස් රෝග ලක්ෂණයක් විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.














