ලොව පුරා වාර්ෂිකව දහස් සංඛ්‍යාත ජීවිත බිලිගන්නා සහ බිලියන ගණනක දේපළ හානි සිදු කරන නායයෑම් සහ හිම කඩා වැටීම් (Avalanches) කල්තියා හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධිය (AI) සමත් වී ඇති බව විද්‍යාඥයෝ පවසති. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ගණිතඥ ඇන්ටොනෙට් ටොර්ඩෙසිලස් (Antoinette Tordesillas) ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් නිපදවන ලද නව AI පද්ධතියක් මගින් මධ්‍යම නේපාලයේ පිහිටි කිම්ටැං (Kimtang) ගම්මානය අතිශය භයානක නායයෑමේ අවදානමක පවතින බව අනාවරණය කරගෙන තිබේ.
මෙම AI පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා සාමාන්‍ය චන්ද්‍රිකා ඡායාරූප වෙනුවට රේඩාර් (Radar) තාක්ෂණය භාවිතයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරනු ලබයි. එමගින් පොළොව මතුපිට සිදුවන ඉතා සියුම් චලනයන්, එනම් දින, සති හෝ වසර ගණනාවකට පෙර සිදුවන පසෙහි වෙන් වීම් හඳුනා ගැනීමට හැකියාව පවතී. කිම්ටැං ගම්මානය පිහිටි කඳු බෑවුම යට පස අස්ථාවර වී ඇති බවත් එය ඕනෑම මොහොතක කඩා වැටිය හැකි බවත් AI මගින් නිර්මාණය කළ සිතියම්වල රතු පැහැති සලකුණු මගින් පෙන්වා දෙයි.
දේශගුණික විපර්යාස මෙන්ම පතල් කැණීම් සහ ඉදිකිරීම් වැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝක මට්ටමේ නායයෑම් අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වාර්ෂිකව නායයෑම්වලින් පුද්ගලයින් 25-50 අතර සංඛ්‍යාවක් මිය යන අතර බිලියන ගණනක හානි සිදු වේ. නේපාලය වැනි හිමාලය ආශ්‍රිත රටවල තත්ත්වය වඩාත් බරපතළ වන අතර 2025 ඔක්තෝබර් මාසයේදී එහි සිදු වූ නායයෑම්වලින් පුද්ගලයින් 60ක් පමණ මිය ගියහ. මෙම නව AI තාක්ෂණය මගින් ලොව පුරා පවතින දහස් සංඛ්‍යාත අවදානම් සහිත බෑවුම් හඳුනාගෙන විපත් සිදුවීමට පෙර ජනතාව ඉවත් කර ජීවිත බේරා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.














