ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවාවන් නවීකරණය කිරීම අරමුණු කරගත් ‘ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය’ වෙනුවෙන් ලෝක බැංකු සමූහයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025-2030 ඩිජිටල් ආර්ථික උපායමාර්ගයට අනුකූලව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් මහජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ මාර්ගගත (Online) ක්‍රමවේද හරහා ලබා දීමට මූලිකත්වය ලබා දෙනු ඇත.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචක කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක් (Integrated Citizen Service Portal) ස්ථාපිත කිරීම, රජයේ ආයතන අතර දත්ත ආරක්ෂිතව හුවමාරු කර ගැනීමේ පද්ධතියක් සකස් කිරීම සහ නිල ලේඛන ගබඩා කර තැබීම සඳහා ‘ඩිජිටල් ලොකරයක්’ (Digital Locker) හඳුන්වා දීම ඒ අතර ප්‍රධාන වේ. මෙම පියවර මගින් රාජ්‍ය සේවයේ පවතින ලිපිගොනු ප්‍රමාදයන් අවම කරමින් ජනතාවට නිවසේ සිටම පහසුවෙන් සේවා ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇත.
මෙම ණය පහසුකම ලබා ගන්නා ආයතනය ලෙස මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ‘ශ්‍රී ලංකා රාජ්‍ය තාක්ෂණික ආයතනය’ (GovTech Sri Lanka) වෙත පැවරී තිබේ. ඩිජිටල්කරණය හරහා 2030 වන විට මෙරට ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව වන අතර මෙම ව්‍යාපෘතිය ඒ සඳහා තබන තීරණාත්මක පියවරක් වනු ඇත.















