මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය වාර්ෂික වසන්ත රැස්වීම් මේ සතියේ වොෂින්ටන් නුවරදී ආරම්භ කරයි. කොවිඩ් වසංගතය සහ රුසියානු-යුක්රේන යුද්ධයෙන් පසුව ගෝලීය ආර්ථිකයට එල්ල වූ තෙවන ප්‍රධානතම කම්පනය මෙය බව මූල්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
පසුගිය පෙබරවාරි 28 වනදා ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක ආර්ථිකයේ යම් වර්ධනයක් අපේක්ෂා කළද, යුද්ධය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ සැපයුම් දාම බිඳ වැටීම නිසා එම බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුව ඇත. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධන වේගය මීට පෙර අපේක්ෂා කළ 4% සිට 3.65% දක්වා පහත වැටෙනු ඇති අතර, යුද්ධය දිගු වුවහොත් එය 2.6% දක්වා තවදුරටත් අඩුවිය හැකිය.
යුද්ධය හේතුවෙන් පොහොර නැව්ගත කිරීම් අඩාල වීම නිසා ලොව පුරා අතිරේක මිලියන 45 ක ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දීමේ අවදානමක් පවතින බව මූල්‍ය අරමුදල අනතුරු අඟවයි. මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා අඩු ආදායම්ලාභී රටවලට හදිසි සහන ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 20 ත් 50 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබේ. ලෝක බැංකුව ද ඉදිරි මාස හය තුළ ඩොලර් බිලියන 70 ක් දක්වා වූ මූල්‍ය පහසුකම් බලමුලු ගැන්වීමට සූදානමින් සිටියි.
ඇමරිකාව සහ චීනය අතර පවතින උණුසුම් සබඳතා සහ G20 කණ්ඩායම තුළ පවතින මතභේද හමුවේ මෙම අර්බුදයට පොදු විසඳුමක් සෙවීම අභියෝගාත්මක වී ඇත. විශේෂයෙන්ම ණය බරින් මිරිකී සිටින රටවල් මෙම නව යුදමය තත්ත්වය නිසා තවදුරටත් ආර්ථික අගාධයකට ඇද වැටීමේ අවදානම ආර්ථික විශේෂඥයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.














