විවෘත වෙළෙඳපොළට නිකුත් කළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිල අමෙරිකානු ඩොලර් 10,990 ක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් 8,333 ක් තරම් අතිවිශාල මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මීට පෙර පාපන්දු තරගයක සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක් සඳහා මෙවැනි ඉහළ මුදලක් නියම කර නොමැති අතර, මෙය ලෝක පාපන්දු ඉතිහාසයේ විවෘත අලෙවියකදී ප්‍රවේශ පත්‍රයක් සඳහා නියම වූ වැඩිම මිල ලෙස සැලකෙනවා.
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එක්ව තරගාවලිය පැවැත්වීම සඳහා ඉදිරිපත් කළ ලංසු පොතෙහි (Bid Book) සඳහන් කර තිබුණේ අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිල ඩොලර් 1,550 ක් වනු ඇති බවයි. කෙසේ වෙතත් නිල ආධාරකරුවන්ගේ සමාජ සඳහා ඉකුත් දෙසැම්බරයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන විට එම උපරිම මිල ඩොලර් 8,680 ක් දක්වා ඉහළ දමා තිබූ අතර, ඉකුත් බදාදා ආරම්භ වූ අවසන් විවෘත විකුණුම් අදියරේදී එය ඩොලර් 11,000 සීමාවට ආසන්න වී තිබෙනවා. මීට පෙර 2022 වසරේ කටාර්හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඉහළම මිලැති ප්‍රවේශ පත්‍රයක වටිනාකම වූයේ ඩොලර් 1,604 ක් පමණක් වීම විශේෂත්වයක්.
මෙහිදී ෆිෆා (FIFA) ආයතනය විසින් ඉල්ලුම මත මිල වෙනස් වන ‘Dynamic Pricing’ ක්‍රමවේදය භාවිත කිරීම නිසා මෙලෙස මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. මෙම අසාධාරණ මිල ඉහළ දැමීම ප්‍රේක්ෂකයන් විශාල පාවාදීමක් බවට මීට පෙරද දැඩි විවේචන එල්ල වී තිබුණා.















