ලෝක බලශක්ති සැපයුමේ ප්‍රධාන මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය මාසයක් පුරා වසා තැබීමත් සමඟ ලෝකය පෙර නොවූ විරූ ආර්ථික අනතුරකට මුහුණ දී සිටී. නාවික සහ බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ වර්තමාන ඉරාන-ඇමරිකානු යුදමය වාතාවරණය හමුවේ නිර්මාණය වී ඇති මෙම තත්ත්වය 1970 දශකයේ ලෝකය අඩපණ කළ තෙල් අර්බුදයටත් වඩා බරපතල විය හැකි බවයි. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ෆාති බිරෝල් පවසන්නේ ඉතිහාසයේ දරුණුතම බලශක්ති ආරක්ෂණ තර්ජනයට අප දැන් මුහුණ දී සිටින බවයි.
1973 වසරේදී අරාබි තෙල් නිෂ්පාදකයින් විසින් ඇමරිකාව ප්‍රමුඛ රටවලට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන් තෙල් මිල සිව් ගුණයකින් ඉහළ ගිය අතර එමඟින් ලෝකය පුරා දැඩි උද්ධමනයක් සහ විරැකියාවක් ඇති විය. එකල ඇති වූ තෙල් කම්පනයට වඩා වර්තමාන අර්බුදය විශාල වන්නේ රුසියානු-යුක්‍රේන යුද්ධයෙන් ඇති වූ ස්වභාවික වායු අර්බුදය ද මෙයට එකතු වී ඇති බැවිනි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනය අඩාල වීම ගෝලීය මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හේතු විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් වේ.
කෙසේ වෙතත් ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ 1970 දශකයට වඩා වර්තමාන ලෝකය මෙවැනි බලශක්ති කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාවකින් පසුවන බවයි. එසේ වුවද වර්තමාන බලශක්ති අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාවගේ ජීවන පිරිවැය සීඝ්‍රයෙන් ඉහළ යාම සහ සමාජ නොසන්සුන්තාවන් ඇති වීම වැළැක්විය නොහැකි බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.














