ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව අභිබවා යමින් කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. අන්තර්ජාතික වෙළඳපොළ දත්තයන්ට අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇත. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීම සහ ගෝලීය තෙල් සැපයුම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීමත් සමඟ ඉදිරි දිනවලදී ද තෙල් මිල තවදුරටත් උච්චාවචනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය කරන රටවල බලශක්ති පිරිවැය ඉහළ යාමට ද සෘජුවම බලපානු ඇත. ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින මෙම අස්ථාවරත්වය හමුවේ බොහෝ රටවල් සිය ඉන්ධන සුරක්ෂිතතාව සහ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් සිටියි.














