ලොව ප්‍රථම වරට සර්පයන් පිළිබඳවම පමණක් වෙන්වූ ජාත්‍යන්තර විද්‍යාත්මක සමුළුවක් එළැඹෙන 2026 ඔක්තෝම්බර් 01 සිට 04 දක්වා මහනුවර The Grand Kandyan Hotel හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ උරග සහ උභයජීවී පර්යේෂණ සංවිධානයේ විධායක සභික ආචාර්ය නිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
ලෝකයේ උරග විශේෂ පිළිබඳ සමුළුවක් සෑම වසර හතරකට වරක් පැවැත්වුණත්, සර්පයන්ගේ පරිණාමය, විෂ පර්යේෂණ (Venom Research), සර්ප දෂ්ටනය කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳව පමණක් අවධානය යොමු කරන ලොව ප්‍රථම ජාත්‍යන්තර සමුළුව මෙය වේ. මේ සඳහා ලොව පිළිගත් විද්වතුන්, පර්යේෂකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් 350ක් පමණ සහභාගී වීමට නියමිතය.
යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන මහනුවර කේන්ද්‍ර කරගනිමින් මෙය පැවැත්වීම හරහා මෙරට සංචාරක කර්මාන්තයට මෙන්ම ජෛව විවිධත්වය සම්බන්ධ පර්යේෂණ ක්ෂේත්‍රයට ද විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබෙනු ඇත. ලොව වෙසෙන සර්ප විශේෂ 411ක් අතුරින් විශේෂ 112ක්ම ශ්‍රී ලංකාවේ වාර්තා වීම මෙවැනි සමුළුවක් මෙරට පැවැත්වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
සමුළුවේදී සර්ප විෂෙහි ජෛව රසායනය, සායනික විෂ විද්‍යාව, විෂ නාශක ඖෂධ (Antivenom) නිෂ්පාදනය, ජෙනෝම පර්යේෂණ සහ සර්පයින් පිළිබඳ සංස්කෘතික ආකල්ප වැනි පුළුල් පරාසයක මාතෘකා 12ක් යටතේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය මෙරට පර්යේෂකයන්ට සහ සිසුන්ට ලෝක මට්ටමේ විශේෂඥයන් සමඟ සම්බන්ධ වීමට ලැබෙන කදිම අවස්ථාවකි.















