ලෝක සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ අධිෂ්ඨාන පාද චාරිකාව හරහා බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේ ද ගෞරවාදරයට පාත්‍ර වූ ලොව ජනප්‍රියතම ථෙරවාදී භික්ෂූන් වහන්සේ වන පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ලබන අප්‍රේල් මස අවසානයේදී ශ්‍රී ලංකාවට වැඩම කිරීමට නියමිතය. වියට්නාම් ජාතික උන් වහන්සේ විසින් මෙහෙයවන ලද සාම පාද චාරිකාව ලොව පුරා විශාල බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට සමත් වූ අතර, මෑත ඉතිහාසයේ ලෝකවාසීන්ගේ දැඩි අවධානයට ලක්වූ සංඝ පීතෘවරයෙකු ලෙස උන් වහන්සේ සැලකේ.
මෙම සුවිශේෂී සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා කිහිප නමක් සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි උන් වහන්සේගේ විහාරස්ථානය වෙත වැඩම කරවාගෙන යාමයි. උන් වහන්සේගේ මෙම ශ්‍රී ලංකා ගමනය මෙරට බෞද්ධ ජනතාව අතර ද විශාල උනන්දුවක් ඇති කර තිබේ.















