ලොව උසම සුළං ටර්බයිනය ජර්මනියේ බ්‍රැන්ඩන්බර්ග් (Brandenburg) ප්‍රාන්තයේ ශිප්කව් (Schipkau) නගරයේ ඉදිකෙරෙමින් පවතින බව අද (01) වාර්තා විය. මීට පෙර ගල්අඟුරු පතල් සඳහා ප්‍රසිද්ධ වූ මෙම කලාපය දැන් හරිත බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබේ.
මීටර් 360ක් උසින් යුත් මෙම ටර්බයිනය මහල් 100ක ගොඩනැගිල්ලකට සමාන වන අතර, එය නිම කළ පසු ජර්මනියේ දෙවන උසම ව්‍යුහය බවට පත්වනු ඇත. ඉහළ අහසේ සුළං වේගය වැඩි බැවින්, සාමාන්‍ය ටර්බයිනයකට වඩා දෙගුණයක බලශක්තියක් නිපදවීමට මෙයට හැකියාව පවතී. ඉරාන යුද්ධය හේතුවෙන් යුරෝපයේ බලශක්ති මිල ඉහළ ගොස් ඇති පසුබිමක, මෙවැනි ව්‍යාපෘති හරහා ස්වාභාවික ගෑස් සහ තෙල් මත යැපීම අවම කර ගැනීමට ජර්මනිය උත්සාහ කරයි.
මෙම ටර්බයිනය ඉදිකිරීම සඳහා සාමාන්‍ය ක්‍රේන් යන්ත්‍ර වෙනුවට පේටන්ට් බලපත්‍රය හිමි සුවිශේෂී ටෙලස්කොපික් (Telescopic) උපකරණයක් භාවිතා කෙරේ. 2025 වසරේදී වානේ කොටස්වල ඇති වූ දෝෂයක් නිසා වැඩකටයුතු මඳකට නැවතුණ ද, මේ වන විට එහි ඉදිකිරීම් යළිත් සාර්ථකව ආරම්භ වී තිබේ. සැලසුම් කර ඇති පරිදි සියල්ල සිදුවුවහොත්, 2026 වසර අවසානය වන විට මෙම දැවැන්ත සුළං බලාගාරය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.














