ලොව විශාලතම මල්ලවපොර සැණකෙළිය වන WrestleMania 42 අවසන් වූ පසු, ලාස් වේගාස් හි පැවැත්වීමට නියමිත ‘WWE Raw’ වැඩසටහන සඳහා බ්‍රොක් ලෙස්නර් (Brock Lesnar) සහ රෝමන් රේන්ස් (Roman Reigns) ඇතුළු ප්‍රබල තරු රැසක් සහභාගී වීමට නියමිත බව WWE නිල වශයෙන් තහවුරු කර තිබේ. WrestleMania උළෙලෙන් පසු පැවැත්වෙන පළමු Raw වැඩසටහන සාමාන්‍යයෙන් WWE හි නව තරඟ වාරයක ආරම්භය ලෙස සැලකෙන අතර, එහිදී නොසිතූ අයුරින් ක්‍රීඩකයන් නැවත පැමිණීම (Returns) හෝ නව ක්‍රීඩකයන් හඳුන්වා දීම (Call-ups) බහුලව සිදුවේ.
අප්‍රේල් 20 වැනිදා ලාස් වේගාස් හි T-Mobile Arena හි පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා නිකුත් කර ඇති නිල පෝස්ටරයේ රෝමන් රේන්ස් සහ බ්‍රොක් ලෙස්නර්ට අමතරව සී.එම්. පන්ක් (CM Punk), රියා රිප්ලි (Rhea Ripley), ලෝගන් පෝල් (Logan Paul), ඕබා ෆෙමී (Oba Femi) සහ ස්ටෙෆනි වැකර් (Stephanie Vaquer) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඇතුළත් කර ඇත. සාමාන්‍යයෙන් රෝමන් රේන්ස් සහ බ්‍රොක් ලෙස්නර් වැනි ක්‍රීඩකයන් WWE වැඩසටහන් සඳහා සහභාගී වන්නේ සීමිත අවස්ථාවලදී පමණක් වුවද, WrestleMania උළෙලෙන් පසුව ද ඔවුන් දෙදෙනා WWE සමඟ දිගටම රැඳී සිටීමට සැලසුම් කර ඇති බව මෙයින් පැහැදිලි වේ.
WrestleMania 42 දෙවැනි රාත්‍රියේදී රෝමන් රේන්ස් ලෝක බර පන්තියේ ශූරතාව (World Heavyweight Championship) වෙනුවෙන් සී.එම්. පන්ක් සමඟ ප්‍රධාන තරඟයට (Main Event) සහභාගී වීමට නියමිතය. එසේම බ්‍රොක් ලෙස්නර් එදින රාත්‍රියේ ඕබා ෆෙමී සමඟ තරඟ වැදීමට නියමිතව ඇත. ලබන අගෝස්තු මාසයේ මිනියාපොලිස් හි පැවැත්වෙන SummerSlam 2026 තරඟාවලිය බ්‍රොක් ලෙස්නර්ගේ සමුගැනීමේ තරඟාවලිය විය හැකි බවට ද කටකතා පැතිර යමින් පවතී.














