ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පුත් යාර් නෙතන්යාහු (Yair Netanyahu) කලකට පසු සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුම යළිත් සක්‍රීය කර තිබේ. ඔහුගේ නිහඬතාව හේතුවෙන් ඊශ්‍රායල අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිතය පිළිබඳව ලොව පුරා පැතිර ගිය විවිධ කටකතා සහ සැක සංකා මෙලෙස නිමාවට පත්ව ඇත.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකින් අගමැති නෙතන්යාහු මියගිය බවට මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ප්‍රචාරයක් පැතිර ගිය අතර, ඉන් අනතුරුව නිකුත් වූ වීඩියෝ දර්ශන පවා කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ඒවා බවට ඇතැම් පාර්ශව චෝදනා කර තිබුණි.
මෙම සැකය දුරු කිරීම සඳහා අගමැතිවරයා පසුගියදා කෝපි හලක සිටින වීඩියෝවක් නිකුත් කළ අතර, එහිදී ඔහු සිය දෑත් ඔසවා ඇඟිලි පහම පෙන්වමින් හාස්‍යජනක ලෙස ප්‍රතිචාර දැක්වූයේ එම වීඩියෝව AI මඟින් සංස්කරණය කරන ලද ඇඟිලි හයක් සහිත එකක් බවට එල්ල වූ චෝදනාවලට පිළිතුරු වශයෙනි.
යාර් නෙතන්යාහුගේ නැවත පැමිණීම සහ අගමැතිවරයාගේ සක්‍රීය දායකත්වයත් සමඟ ඊශ්‍රායල දේශපාලන ක්ෂේත්‍රය තුළ පැවති අවිනිශ්චිත තත්ත්වය පහව ගොස් ඇති අතර, රජය සහ ආරක්ෂක අංශ පවසන්නේ පවතින යුදමය වාතාවරණය හමුවේ අගමැතිවරයා ඉතා නිරෝගීව සිය රාජකාරි මෙහෙයවන බවයි.














