යාල ජාතික වනෝද්‍යානයේ අංක එක කලාපයේ පනාගම්මන වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විශේෂ ඒකාබද්ධ මුර සංචාරයකදී, බන්දුවැව ප්‍රදේශයේ කුඹුරු යායක වාඩියක් තුළ මුව මස් පිසිමින් සිටි සෆාරි ජීප් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු මුව මස් කිලෝවක් පමණ පිසිමින් සිට ඇති අතර, වනජීවී නිලධාරීන් විසින් පිසින ලද මුව මස් සමඟ සැකකාර රියදුරාව තම භාරයට ගෙන ඇත. මොහු යාල වනෝද්‍යානයේ සක්‍රීයව සේවයේ නිරත වන සෆාරි ජීප් රථ රියදුරෙකු බව හඳුනාගෙන තිබේ.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික වනෝද්‍යානයක් තුළ වනසතුන් දඩයම් කිරීම, මස් සන්තකයේ තබා ගැනීම සහ පිසීම බරපතළ වරදක් වන බැවින්, සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














