2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සහ මිල නියාමනය සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. ඉරානය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ පොහොර මිල ඉහළ යාමේ අවදානමක් මතු වී ඇති පසුබිමක, මෙරට ගොවීන්ට බලපෑමක් නොවන අයුරින් කටයුතු කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය. මෙහිදී පොහොර සමාගම් නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් අතර ඇති වූ එකඟතාවය මත, යල කන්නය සඳහා පොහොර මිටියක් රුපියල් 9500ක සහන මිලකට අලෙවි කිරීමට සියලුම පොහොර සමාගම් සිය එකඟතාවය පළ කර ඇත.
යුද්ධය හේතුවෙන් පොහොර හිඟයක් ඇති වේ යැයි බියෙන් ඇතැම් වෙළඳුන් පොහොර තොග සඟවා තබා ගැනීම සහ වැඩි මිලට විකිණීම පිළිබඳව ගොවි සංවිධාන මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ. මීට පිළියමක් ලෙස රට තුළ පවතින පොහොර තොග පිළිබඳව විධිමත් සමීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙසත්, පොහොර අලෙවියේදී ලදුපතක් නිකුත් කිරීම අනිවාර්ය කරන ලෙසත් මෙහිදී යෝජනා විය. එසේම හිඟයක් පවතින අවස්ථාවල ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘෂි රසායන වෙළඳපොළට පැමිණීමේ අවදානම පාලනය කිරීමටත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය හරහා ප්‍රමිතිය නියාමනය කිරීමටත් රජය තීරණය කර ඇත.
ගොවීන්ට අත්‍යවශ්‍ය තවත් ප්‍රධාන සාධකයක් වන ඉන්ධන සැපයුම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, අස්වනු නෙලීමේ කටයුතු සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට දැනටමත් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ ඇතුළු අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහ පෞද්ගලික පොහොර සමාගම් නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.















