එළඹෙන යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය පොහොර මෙරට තුළ ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන් සමස්ත වගා සංග්‍රාමයම දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය. යල කන්නය සඳහා වී වගාවට පමණක් පොහොර මෙට්‍රික් ටොන් 130,000ක් අවශ්‍ය වුවද, මේ වන විට මෙරට පවතින්නේ මෙට්‍රික් ටොන් 60,000ක පමණ ප්‍රමාණයක් බවත්, ඉතිරි තොග ආනයනය කිරීම සඳහා මෙතෙක් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඕමානය වැනි රටවලින් මුහුදු මාර්ගයෙන් පොහොර ගෙන්වීමට බාධා එල්ල විය හැකි අතර, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හමුවේ පොහොර මිටියක මිල රුපියල් 20,000 ඉක්මවා යා හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.
රජය සහ කෘෂිකර්ම බලධාරීන් ප්‍රමාණවත් පොහොර තොග පවතින බව පවසමින් වගා කටයුතු කරගෙන යන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටියද, ඉන්ධන සහ බීජ මිල ඉහළ යාමට සාපේක්ෂව වී සඳහා සාධාරණ මිලක් නොලැබීම ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වී තිබේ. එප්පාවල පොස්පේට් නිධිය භාවිත කරමින් දේශීයව පොහොර නිෂ්පාදනය කිරීමට රජය අපොහොසත් වීම මෙවැනි කෘෂිකාර්මික අර්බුදයකට ප්‍රධාන හේතුවක් බව ද අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි මුහුදු මාර්ග අවහිර වීම් ද මෙම පොහොර සැපයුම් දාමයට සෘජුව බලපාන බැවින්, වහාම මැදිහත් වී පොහොර සුරක්ෂිතතාව තහවුරු කරන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.














