යේමනයේ හූති සටන්කාමීන් විසින් මාස අටක පමණ කාලයක් රඳවාගෙන සිටි රුසියානු ජාතික නාවිකයෙකු වන ඇලෙක්සි ගැලැක්ටිනොව් (Aleksei Galaktionov) නිදහස් කර යළි රුසියාව බලා පිටත් කර හැර ඇති බව වාර්තා වේ. 2025 ජූලි මාසයේදී හූති සටන්කාමීන් විසින් රතු මුහුදේදී එල්ල කරන ලද ප්‍රහාරයකින් මොහු තුවාල ලබා සිටි අතර, සනා (Sanaa) නුවරදී වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු මෙලෙස නිදහස ලබා ඇත.
ග්‍රීසියට අයත් ‘Eternity C’ නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවට හූති සටන්කාමීන් විසින් මුහුදු ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර එල්ල කර එය ගිල්වා දැමූ අවස්ථාවේදී මෙම නාවිකයා අත්අඩංගුවට පත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සහ රුසියානු මෙන්ම ඉරාන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් පසු විශේෂ ගුවන් යානයක් මගින් ඔහු රුසියාව බලා පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.
නෞකාවේ සිටි සෙසු කාර්ය මණ්ඩලය පසුගිය දෙසැම්බර් මාසයේදී නිදහස් කළ ද, තුවාල ලබා සිටි මෙම රුසියානු නාවිකයාට ප්‍රතිකාර කිරීම සඳහා තවදුරටත් රඳවාගෙන සිටි බව හූති පාලනය යටතේ පවතින විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. රතු මුහුදේ පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ සිදුවන මෙවැනි ප්‍රහාර ජාත්‍යන්තර නාවික ප්‍රජාවගේ දැඩි කතාබහට ලක්ව ඇත.













