යේමනයේ හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහිව නිල වශයෙන් යුධ ප්‍රකාශ කර ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය අතිශය දරුණු අතට හැරී තිබේ. මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු මැරීන් භටයන් 2,500ක් රැගත් ‘USS Tripoli’ නෞකාව මැදපෙරදිග කලාපයට ළඟා වූ බව අමෙරිකානු මධ්‍යම අණසක (U.S. Central Command) නිවේදනය කළේය. තායිවානය ආසන්නයේ අභ්‍යාසවල නිරතව සිටි මෙම ප්‍රහාරක නෞකාව වහාම ක්‍රියාත්මක වන පරිදි මැදපෙරදිගට කැඳවා ඇත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාරයන්ට සහාය වීම සඳහාය. මේ වන විටත් අමෙරිකානු සෙබළුන් 50,000කට අධික පිරිසක් සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් කලාපය තුළ ස්ථානගත කර ඇති අතර, මෙය වසර 20කට පසු කලාපය තුළ දක්නට ලැබෙන විශාලතම අමෙරිකානු හමුදා ශක්තිය ලෙස සැලකේ.
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ රෝහල් ඇතුළු සිවිල් ගොඩනැගිලි 82,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) පවසන අතර, පුද්ගලයින් 1,900කට අධික පිරිසක් ඉරානය තුළ ජීවිතක්ෂයට පත්ව ඇත. ඉරානය විසින් ලෝක තෙල් සැපයුමෙන් 20%ක් ගලා යන උපායමාර්ගික හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත් සමඟ ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. මීට අමතරව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරාකයේ සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර, යේමනයේ හූති කැරලිකරුවන් ද ප්‍රහාරයට එක්වීමත් සමඟ රතු මුහුදේ වෙළඳ නෞකා ගමනාගමනයට දරුණු තර්ජනයක් එල්ල වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














