සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ. චීනයේ බීජිං නුවරදී මාර්තු 25 සිට 27 දක්වා පැවැති ‘ZGC 2026 Forum Annual Conference’ ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක නියෝජිතයන් සහභාගී වූ මෙම සමුළුව ප්‍රධාන වශයෙන් කෘතිම බුද්ධිය (AI) සහ සමුද්‍රීය පාරිසරික සංරක්ෂණය යන තේමාවන් යටතේ සංවිධානය කර තිබුණි.
ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික වර්ධනය සාගර සම්පත් මත බෙහෙවින් රඳා පවතින බව සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශගුණික විපර්යාස හමුවේ සාගර කළමනාකරණය විධිමත් කිරීම සඳහා චීනය වැනි තාක්ෂණයෙන් දියුණු රටවල් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද හෙතෙම සඳහන් කළේය. මෙහිදී දෙරටේ පර්යේෂණ ආයතන අතර ශිෂ්‍ය සහ තාක්ෂණික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය.
මෙම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.කේ. ජයන්ත මහතා සහ නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා ද සහභාගී වී සිටියහ. මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාවේ නිල් ආර්ථිකය (Blue Economy) නංවාලීමට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම සහ ජාත්‍යන්තර සහයෝගීතාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














