ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයකින් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 23කින් පරාජය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව ද ඇතුළත් වන ‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම ගැටුමේදී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 169ක් රැස් කළේය. ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, ඔවුන් පන්දුවාර 19.3කදී ලකුණු 146කට සියලු දෙනා දැවී ගියහ.
මෙම ජයග්‍රහණය සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්නක් වන්නේ ඔවුන් වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ පළමු විස්සයි20 තරග ජය මෙය වන බැවිනි. මීට පෙර ඔවුන් 2007 වසරේ පැවති ලෝක කුසලාන තරගයකදී ඔස්ට්‍රේලියාව පරාජය කර තිබූ අතර, එතැන් සිට අද දක්වා දෙරට අතර පැවති සියලු විස්සයි20 තරග ඔස්ට්‍රේලියාව ජයගෙන තිබුණි. විශේෂයෙන්ම වසර 8කට පසු මෙම කණ්ඩායම් දෙක විස්සයි20 පිටියේදී හමු වූ පළමු අවස්ථාවේදීම මෙවැනි පෙරළිකාර ජයක් ලැබීමට සිම්බාබ්වේ සමත් වීම කැපී පෙනේ.














