26 July 2024
#දේශීය

ශ්‍රිලනිප නව මහලේකම් වැඩ ඇරඹීමේ අවස්ථාවට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ඇරඹීය. ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යි.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක්වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වීය.

දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *