අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට ප්‍රමුඛතාව ලබා දීමට රජය තීරණය කර ඇති බව සභානායක බිමල් රත්නායක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මෙම යෝජනාවට නිසි ඉඩකඩ සහ ප්‍රමුඛතාව ලබා දීමට රජය කිසිසේත් පසුබට නොවන බව සභානායකවරයා අවධාරණය කළේය.
ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය තීරණය කරන ‘පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව’ මේ සතියේ නොපැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නැඟූ ප්‍රශ්නයට මෙහිදී පිළිතුරු ලැබිණි.
රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත වැදගත් පනත් කෙටුම්පත් දෙකක් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලැබෙන තෙක් රජය බලා සිටින බවත්, එම තීන්දු මත ඉදිරි සතියේ වැඩකටයුතු තීරණය වන බවත් සභානායකවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හරහා පෙනී යන්නේ විපක්ෂය විසින් එල්ල කරන ලද විශ්වාසභංග අභියෝගයට පාර්ලිමේන්තුව තුළ විවෘතව මුහුණ දීමට රජය සූදානම් බවයි. ඉදිරි සතියේදී විශ්වාසභංගයට අදාළ විවාදය පැවැත්වෙන දිනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.














