අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආසන පටි (Seat belts) පැළඳීමේ නීතිය අද සිට සියයට සියයකින් බලාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි.
රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධිර මහතා ප්‍රකාශ කළේ 2011 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව, ඉංග්‍රීසි අක්ෂර සහිත අංක තහඩු සහිත වාහනවල රියදුරු සහ ඉදිරිපස අසුනේ මගියාට අමතරව පසුපස අසුන්වල ගමන් කරන සියලු දෙනා ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බවයි.
විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා සියලුම මගීන් ගමනාන්තය දක්වාම ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය වන අතර, යම් මගියෙකු ආසන පටි පැළඳ නොසිටියහොත් මගියාට මෙන්ම රියදුරාට ද එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය අවධාරණය කරයි.
වාහනයක ආසන පටි සවිකර නොමැති නම් එහි අයිතිකරුවන්ට ද නඩු පවරන බවත්, බස් රථවල අනුමත මගී සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කරන්නේ නම් ඔවුන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පෙර බස් රථයෙන් බැස්වීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ගවල සිදුවන යතුරුපැදි ධාවන තරග (Racing) වහාම නතර කිරීමට පොලිසිය තීරණය කර ඇත. අධික ධාරිතාවයෙන් යුත් (High-capacity) යතුරුපැදි මෙලෙස ධාවනය කරන්නේ නම් ඒවා පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, ඒ පිළිබඳ විශේෂ විමර්ශන පැවැත්වීමටත් රථවාහන පොලිසියට උපදෙස් දී තිබේ.














