ගාල්ල ප්‍රදේශයේ වෙළඳසැලක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව අදහස් දක්වමින් ඔහු “කුණු ලෝබයෙකු” ලෙස හඳුන්වා දී තිබේ. කෙසේ වෙතත්, එම ලෝබකම රටේ අනාගතයට යහපත් බව ද ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේදී තමන් ලැබූ අත්දැකීම් ඇසුරින් රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ, පෙර සිටි පාලකයින් මහජන මුදල් අසීමිත ලෙස නාස්ති කරමින් රට විකුණා දැමූ බවයි. “ගෙදර තාත්තා ලෝබ වුණාම ගේ දොර, ඉඩකඩම් සහ වී බිස්ස පවා ඉතුරු වෙනවා. ඒ වගේ අනුර කුමාර මහත්තයා සල්ලි ඉතුරු කරන්නේ ගෙදර ගෙනියන්න නෙමෙයි, රට වෙනුවෙන්,” යැයි ඔහු පැවසීය.
ජනාධිපතිවරයා අනවශ්‍ය විදේශ සංචාර හෝ හෙලිකොප්ටර් භාවිත කරමින් මුදල් නාස්ති නොකරන බව අගය කළ රන්ජන් මහතා, හොරකම සහ නාස්තිය අවම වීම රටට සුබදායක බවත්, විදේශ සබඳතා අංශය තවදුරටත් ශක්තිමත් කරගත හොත් එය වඩාත් අගනේ යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.














