පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලද සියලු අපේක්ෂකයන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකුලව මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් වාර්තාව දෙසැම්බර් මස 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.
2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 06 වැනි වගන්තියට අනුව මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් තුළදී අදාළ අපේක්ෂකයන් විසින් මැතිවරණ කොමිෂන් සභාවට බාරදියයුතු බවද ඔහු කීවේය.
මෙහිදී පක්ෂය /කණ්ඩායම හා අපේක්ෂකයා වෙනුවෙන් ලබාදුන් දායකත්ව හෝ පරිත්‍යාග ද්‍රව්‍යමය වශයෙන් ලැබුනේ නම් ඒවායෙහි ඇස්තමේන්තු වටිනාකම, අදාළ දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන්ද යන වග අදාළ වාර්තාවේ සටහන් කළයුතු වේ.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් මස 17 වැනිදා සිට ඒ ඒ තේරීම්භාර නිලධාරී කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ රාජගිරිය ප්‍රධාන කාර්යාලයයේදී ප්‍රදර්ශනය කෙරෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
එම වාර්තාවල තොරතුරු අසත්‍ය නම් එය තහවුරු කිරීමට හැකි ලේඛන සහිතව ඕනෑම ඡන්දදායකයෙකුට පොලිසියේ පැමිණිලි කිරීමේ හැකියාව ඇත.