ගම්පොළ, අඹුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කේබල් කාර් ව්‍යාපෘතියේදී සිදුව ඇතැයි පැවසෙන බරපතළ මූල්‍ය දූෂණ සහ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, විමර්ශන නිලධාරීන් පසුගියදා අඹුලුවාව පරිශ්‍රය වෙත ගොස් අදාළ ලේඛන රැසක් සිය භාරයට ගෙන ඇත. ව්‍යාපෘතිය සඳහා පාරිසරික අනුමැතිය ලබාගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරිය නිසි ක්‍රමවේද අනුගමනය නොකළ බවටත්, වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව හා ශාක විශේෂ 58ක් පවතින කලාපයක වනජීවී දෙපාර්තමේන්තුවේ දායකත්වයකින් තොරව අනුමැතිය ලබාදුන් බවටත් මෙහිදී චෝදනා එල්ල වී ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ 2024 වාර්තාව මගින් ද හෙළි වී ඇත්තේ, අදාළ ව්‍යාපෘතිය ලබා දුන් සමාගම ලියාපදිංචි කර ඇත්තේ භාරකාර මණ්ඩලය එය ප්‍රදානය කිරීමට තීරණය කර දින 6කට පසුව බවයි. මෙම පෞද්ගලික සමාගමේ කොටස්කරුවන් අතර භාරකාර මණ්ඩලයේ සභාපතිවරයාගේ බිරිඳ සහ පවුලේ සමීපතමයන් සිටින බවත්, තීරණාත්මක අවස්ථාවකදී සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී බිරිඳ පත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.














