සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සහ එය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යැවීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත. පසුගිය පෙබරවාරි 06 වැනිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණේ අමාත්‍යවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිත කරමින් ඉන්දියාවේදී රුපියල් මිලියනයක භාණ්ඩ මිලදී ගත් බවයි.
මෙම ප්‍රකාශය පදනම් විරහිත සහ ද්වේශ සහගත එකක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ස්වර්ණවාහිනී නාලිකාව සිය “Story of the Day” විශේෂාංගය හරහා තමන්ගෙන් කිසිදු විමසීමක් නොකර එය ප්‍රචාරය කිරීමෙන් තම කීර්තිනාමයට බරපතල හානියක් කර ඇති බව පවසයි. ඒ අනුව, අදාළ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් විමල් වීරවංශ මහතාට මෙන්ම Ben Holdings සහ EAP Broadcasting යන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා සිය නීතිඥයන් මාර්ගයෙන් දැනුම් දී තිබේ.














