රජයේ ඇතැම් අමාත්‍යවරුන් විසින් ආගමික නායකයින් ඉලක්ක කරගනිමින් සිදුකරන අපහාසාත්මක ප්‍රකාශ සහ පරිභව කිරීම් තමන් වහන්සේ තරයේ හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කරති. අද (04) නිදහස් දිනය නිමිත්තෙන් කොළඹදී පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ, යම් දේශපාලන න්‍යාය පත්‍රයක සිරවී ආගමික නායකයින්ට රටේ පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඇති අයිතිය පවා අහිමි කිරීමට පාලකයන් උත්සාහ කරමින් සිටින බවයි. බුදුදහමේ ආභාෂයෙන් හා මිහිඳු හිමියන් හඳුන්වා දුන් අධ්‍යාත්මික වටිනාකම් මත ගොඩනැගුණු ශිෂ්ඨසම්පන්න රටක නායකයින්, එම ආගමික පසුබිමට හා ආගමික නායකයින්ට අනිවාර්යයෙන්ම ගරු කළ යුතු බව කාදිනල් හිමිපාණෝ මෙහිදී සිහිපත් කළහ.
ආගමික සදාචාරයෙන් බැහැරව යුරෝපයේ ඇතැම් රටවල් ගිය විනාශකාරී මාවතට ශ්‍රී ලංකාවත් ඇද දමමින් සිටින්නේ ද යන ප්‍රශ්නය වර්තමානයේ මතුව ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ. පාලකයන් කිනම් පොරොන්දු දුන්නද රට තවමත් පවතින්නේ අතිශය අවදානම් සහගත ආර්ථික තත්ත්වයක බවත්, සැබෑ ප්‍රගතියක් අත්කරගත හැක්කේ ආගමික චින්තනයට හා සදාචාරයට ගරු කරන දැහැමි පාලනයක් තුළින් පමණක් බවත් අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ. ආගමික නායකයින්ට කෙරෙන පරිභව කිරීම් ව්‍යවස්ථාවෙන් පවා පිළිගත් ආගමික පැවැත්මට එල්ල කරන අභියෝගයක් බව ද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.














