ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ගාලුමුවෙදාර සහ පදනම් ආයතනය අසල වගකීම් විරහිතව දමා ගිය පුද්ගලයන් පිළිබඳව වහා ම පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.
සමරසිංහ මහතා මේ බව පැවැසුවේ, ගාලුමුවෙදාර පිටියේ නවතා දමා තිබූ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් එම වාහන නිරීක්ෂණය කිරීමට ගිය අතරතුර ය.
මීට අදාළ ඇතැම් වාහන නීත්‍යනුකූලව භාර දී ඇති බව ද ඔහු කියයි.
ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833ක් සම්බන්ධව ලේඛනයක් පවතින අතර ඒ වාහන 833න් 29ක් 2022 වසරේ හිටපු ජනාධිපතිවරුන්ගේ කාලය තුළ අතුරුදන්ව ඇති බව ය.
එමෙන් ම, එම වාහන 833න් ජනාධිපති ආරක්ෂක සේවයට වෙන්කර ඇති ගණන 291ක් බව ත් හිටපු ජනපතිවරුන්ට වාහන 52ක් ද හිටපු ජනාධිපතිවරුන්ගේ මන්දිරවලට වාහන 15ක් ද ඇතුළුව බෙදා වෙන්කොට තිබී ඇත.
විශේෂයෙන් ම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් මෙම වාහන අතරින් දැනට මෙසේ දමා ගොස් ඇති වාහන 252ක් අද (සැප්. 26) ආයතනවලට භාර දී රාජකාරි කටයුතුවල යෙදවීමට නියමිත බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.