අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී අතිශය උද්වේගකර අයුරින් පැවැති ඇෆ්ගනිස්ථාන – දකුණු අප්‍රිකා ගැටුමෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (11) සමත් විය. නියමිත පන්දුවාර 20 අවසානයේ සහ ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පළමු සුපිරි පන්දුවාරයේදී ද දෙපිලම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගයේ තීරණය දෙවෙනි සුපිරි පන්දුවාරයක් (Double Super Over) දක්වා ඇදී ගිය අතර, එහිදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් රයන් රිකල්ටන් ලකුණු 61ක් සහ ක්වින්ටන් ඩි කොක් ලකුණු 59ක් රැස් කළ අතර ඩෙවල්ඩ් බ්‍රෙවිස් ලකුණු 23ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 84ක සුපිරි ඉනිමක් දියත් කළ ද, ඔවුන් පන්දුවාර 19.4කදී සියල්ලන් දැවී ලකුණු 187කට සීමා වීම නිසා තරගය සම තත්ත්වයට පත් විය. අවසානයේ දෙවෙනි සුපිරි පන්දුවාරයේදී හිමිකරගත් මෙම තීරණාත්මක ජයග්‍රහණයත් සමඟ දකුණු අප්‍රිකාව සිය ප්‍රසාද ලකුණු සටහන තවදුරටත් ශක්තිමත් කර ගත්තේය.














