2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක ඉන්දු – පාකිස්ථාන තරගය, පෙර සැලසුම් කළ පරිදි එළඹෙන පෙබරවාරි 15 වනදා කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ලාහෝර්හිදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව උද්ගතව තිබූ අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්වීමත් සමඟ මෙම එකඟතාවයට පැමිණ ඇත.
බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව පාකිස්ථානය තරගය වර්ජනය කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණද, ඉරිදා පැවැති මෙම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ කොන්දේසි මත තත්ත්වය ලිහිල් වී තිබේ. ඒ අනුව ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින මෙම තරගය කිසිදු වෙනසකින් තොරව නියමිත දිනට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව වාර්තා වේ.














