ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංග්සිරි (Alireza Tangsiri) මියගිය බව ඉරාන රජය අද (30) නිල වශයෙන් තහවුරු කළේය. පසුගිය සතියේදී ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් මොහු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර, ඉරානය පවසන්නේ එම ප්‍රහාරයෙන් ලැබූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මියගිය බවයි. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමෙරිකා-ඊශ්‍රායල ගැටුම්වලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඇතුළු ප්රමුඛ පෙළේ නායකයින් රැසක් මේ වන විටත් ඝාතනයට ලක්ව තිබේ.
ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලි ජෆාරියන් පවසන පරිදි, මාසයකට ආසන්න මෙම යුද සමය තුළ පුද්ගලයන් 1,937 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 452 කු කාන්තාවන් සහ ළමයින් වේ. තවද පුද්ගලයන් 24,800 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් බහුතරය කාන්තාවන් සහ ළමුන් බවත් වාර්තා වේ. කලාපීය ආරක්ෂාව සහ ඉරානයේ යුද ශක්තියට ප්‍රබල පහරක් වෙමින් සිදුවූ මෙම මරණයත් සමඟ මැදපෙරදිග අර්බුදය තවදුරටත් තීරණාත්මක මාවතකට අවතීර්ණ වී ඇත.














