ඉරානය සමඟ පවතින ගැටුමේ ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මක වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ඉරානයට සහාය වීම සඳහා චීනය සහ රුසියාව දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම මැදිහත්වීම්වලට සෘජුව මුහුණ දෙන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සන්නද්ධ හමුදාවල මානසිකත්වය බිඳ වැටී ඇති අතර, සෙබළුන් විශාල වශයෙන් හමුදාව හැරයාමේ ප්‍රවණතාවක් සහ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කලකිරීමක් හටගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු ඇසුරින් හෙග්සෙත් මහතා පෙන්වා දුන්නේය. “අප සතුව විකල්ප වැඩි වෙමින් පවතිනවා, නමුත් ඉරානයට ඇති විකල්ප සීමිතයි. ගතවූ මාසය තුළ අප යුද්ධයේ කොන්දේසි තීරණය කර අවසන්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය සෙනසුරාදා මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්වරයා, එහිදී ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම්වල ප්‍රගතිය සෘජුවම නිරීක්ෂණය කර තිබේ. චීනය සහ රුසියාව ඉරානයට උදව් කරන ආකාරය පිළිබඳව අමෙරිකාව නිවැරදිව දන්නා බවත්, එම මැදිහත්වීම් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.














