උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී අද (09) අලුයම සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක්, මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම දරුවාගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වහාම උඩවලව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මාරක රිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු උඩවලව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














