උතුරුදිග නයිජීරියාවේ ගම්මාන තුනක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ කුරිරු වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කණ්ඩායම් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, වෙඩි තැබීම්වලින් අනතුරුව එම ස්ථානවල සිටි තවත් පිරිසක් පැහැරගෙන යාමට ද ඔවුන් කටයුතු කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ප්‍රදේශය පුරා දැඩි භීතියක් සහ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් නයිජීරියානු ආරක්ෂක අංශ ඊයේ (15) දිනයේදී නයිජර් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙහිදී අයි එස් (IS) ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන සන්නද්ධ කණ්ඩායම් මෙන්ම, කප්පම් ලබා ගැනීම සඳහා මිනිසුන් පැහැර ගන්නා අපරාධ කල්ලි මර්දනය කිරීම ආරක්ෂක අංශවල මූලික අරමුණ වී තිබේ. නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වරින් වර වාර්තා වන අතර, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය දැඩි පියවර ගනිමින් සිටියි.














