ලිංගික අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගාරය තුළදී මියගිය බෝටිමියුල ජෙෆ්රි එප්ස්ටයින්ට (Jeffrey Epstein) අයත් ලිපිගොනු මිලියන 3.5ක් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නම 1,005 වාරයක් සඳහන් වී තිබීම ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇත. මෙම ලිපිගොනුවලට අනුව එප්ස්ටයින් රුසියානු ජනාධිපතිවරයා හමුවීමට දැඩි උත්සාහයක නිරත වී ඇති නමුත්, ඔවුන් දෙදෙනා සැබවින්ම හමු වූ බවට මෙතෙක් ස්ථිර සාක්ෂි හමු වී නොමැත.
එප්ස්ටයින් සහ රුසියාව අතර සබඳතාවයේ ප්‍රධානියා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු රුසියානු තානාපති විටාලි චුර්කින් කටයුතු කර ඇති අතර, ඔවුන් දෙදෙනා නිතිපතා හමුවී ඇති බව අනාවරණය වේ. චුර්කින්ගේ අභාවයෙන් පසු එප්ස්ටයින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හරහා පුටින් වෙත ළඟා වීමට උත්සාහ කර ඇති බව විද්‍යුත් තැපැල් (Email) පණිවුඩ මගින් හෙළි වී තිබේ. මෙම සබඳතා බොහොමයක් සිදුව ඇත්තේ 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට චෝදනා එල්ල වූ සංවේදී කාල වකවානුවකදී වීම විශේෂත්වයකි.
මෙම හෙළිදරව්වත් සමඟ පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටුස්ක් ප්‍රකාශ කර ඇත්තේ එප්ස්ටයින් සහ රුසියානු ඔත්තු සේවා අතර පවතින සබඳතා පිළිබඳව තම රට විශේෂ පරීක්ෂණයක් පවත්වන බවයි. කෙසේ වෙතත්, ක්‍රෙම්ලිනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කළේ එප්ස්ටයින් රුසියානු ඔත්තු සේවයේ ඒජන්තයෙකු බවට වන මතය විහිළුවට කරුණක් මිස බැරෑරුම් ලෙස ගත යුත්තක් නොවන බවයි.














