2009 වසරේ සිට මෙරට සිදුව ඇති ළමා පැහැරගැනීම් හුදු දේශපාලන අපරාධ ලෙස පමණක් සලකා බැහැර කළ නොහැකි බව දෙමළ ජාතික පුනරුද ව්‍යාපාරයේ නීතිඥ උමාකරන් රාසයියා මහතා පවසයි. ජාත්‍යන්තරව මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ‘එප්ස්ටීන් ලිපිගොනු’ (Epstein Files) උපුටා දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (08) යාපනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ලොව පුරා බලගතු පුද්ගලයන් සම්බන්ධ වූ ලිංගික සූරාකෑම් සහ ළමා ජාවාරම් පිළිබඳව එප්ස්ටීන් ලිපිගොනු මගින් කරුණු හෙළි වී ඇති පසුබිමක, ලංකාවෙන් අතුරුදන් වූ සහ පැහැරගැනීමට ලක්වූ දරුවන්ට ද මෙවැනිම ඉරණමක් අත් වූයේ ද යන්න පිළිබඳව සැකයක් මතුවන බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා 2009 සිට 2026 දක්වා කාලය තුළ අතුරුදන් වූ දරුවන් පිළිබඳ පරීක්ෂණ දේශපාලන කෝණයකින් පමණක් නොව, ලිංගික සූරාකෑම සහ ජාත්‍යන්තර මිනිස් ජාවාරම් යන කෝණයන්ගෙන් ද සිදු කිරීමට වත්මන් රජයට විශාල වගකීමක් ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට, විපක්ෂ නායකවරයාට, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් භාරදීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













