කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා අටක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට, සේවය අත්හිටුවා සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් සිය ආයතන ප්‍රධානියාට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබීම සුවිශේෂී තත්ත්වයකි.
කතානායකවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා අතර නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තු වාහන සහ මාධ්‍ය අංශයේ උපකරණ අවභාවිතය, නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුමෙන් අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම සහ නීති විරෝධී ලෙස නිල නිවාස දෙකක් පරිහරණය කිරීම ප්‍රධාන වේ. මීට අමතරව, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූ තොරතුරු ප්‍රතික්ෂේප කරමින් දූෂණ වංචා වසන් කිරීමට උත්සාහ කිරීම සහ කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම වැනි චෝදනා ද ඒ අතර වේ. මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තුවේදී ද දැඩි ප්‍රශ්න කිරීම් සිදු කළහ.














